කසාද බැඳපු එකාත් දුකින්, බැඳපු නැති එකාත් දුකින්…?

ඔයා ඉන්නේ පසුතැවිල්ලෙන්ද? මොකක් කලත් හරියන්නේ නැද්ද? හිතට සතුටක් ඇත්තෙම නැද්ද? හැමතිස්සෙම අය්යෝ අපරාදේ අරෙහෙම කලේ නෑනේ මම, අපරාදේ ඒක නොකර ඉන්න තිබ්බේ මට කියල හිතෙනවද? එහෙනම් හරි. මගෙන් සුබ පැතුම්. ඔයා මනුස්සයෙක් කියන එක ෂුවර්. ඔව්, පුදුමයි නේ. ඒත් ඇත්තයි. මම අද මේ කියන්න යන්නේ ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. විනාඩි පහක් අරන් ඉවර වෙනකල්ම කියවන්න. හරි කතාවට බහිමු එහෙනම්. ඇයි මේ මිනිස්සු මෙච්චර පසු තැවිල්ලකින් ජීවත් වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට හොඳ උත්තරයක් දීලා තියෙනවා, මේ කවරේ ඉන්න මහත්තයා. එයා තමයි Søren Kierkegaard කියන්නේ. සුපිරි චරිතයක්. එක්දහස් අටසිය ගණන්වල ඩෙන්මාර්කයේ ජීවත් වෙච්ච දාර්ශනිකයෙක් තමා මෙයා. මෙයා කියලා තියෙන සුපිරිම කතාවක් තමයි, මිනිස්සු ඇයි මේ පසුතැවිල්ලෙන් කාලය ගත කරන්නේ කියන එක ගැන. මෙයා කියන විදිහට මනුෂ්‍යයෙක් වීමේ මූලික ලක්ෂණයක් තමයි මේ පසුතැවිල්ල සහ බලාපොරොත්තු විරහිත ස්වභාවය. “මරණය තෙක් දුක් විඳීම” කියන එක තමයි මේකෙන් මෙයා ගොඩක් පැහැදිලි කලේ. දැන් මම කියල දෙන්නම් ඇයි  මිනිස්සු මෙහෙම වෙන්නේ කියල.

  1. අපි සමහර වෙලාවට හිතන් ඉන්නවා අපිට කිසිම දෙයක් බෑ කියලා.
  2. අපි සමහර වෙලාවට හිතන් ඉන්නවා අපිට හැමදේම පුළුවන්, ඒත් මොකක්ද හරි එක කියලා තීරණය කරගන්න බැරුව ඉන්නවා

ඔන්න ඔය හේතු දෙක තමයි අර මම කලින් කියපු එකට හේතු. කීකගාර්ඩ් කියන විදිහට අපි මොන තීරණේ ගත්තත් අපි පසුතැවෙනවා. මෙයාගේ Either/Or කියන පොතේ මේක සුපිරියට විස්තර කරලා තියෙනවා.

“If you marry you will regret it. If you don’t marry you will also regret it. [Whether] you marry or you do not marry you will regret both…”

දැන් තේරෙනවනේ මොන මගුල කරත් අපි දුකින් තමා ඉන්නේ කියලා. අනිත් කාරණය තමයි, අපි මොන තීරණය ගත්තත් අපි ඒ තීරණය ගැන ලොකු අවුලකින් ඉන්නේ. (Anxiety) මේ හිතේ ඇතිවෙන අමුතු අවුලටත් හේතුව අර පොතේ තියෙනවා. ඒ තමයි අපේ තීරණ අභ්‍යන්තරයේ තියෙන අවිනිශ්චිත ස්වභාවය. -මේක කලොත් මොකක් වෙයිද දන්නේ නෑ. නොකලොත් මොකක් වෙයිද දන්නේ නෑ. -දැන් මම මේක කලානේ, දැන් මට මොනවා වෙයිද දන්නේ නෑ. අපරාදේ මේක නොකර ඉන්න තිබ්බේ. ඔහොම හිතිලා නැති කෙනෙක් ඉන්නවනම් වහාම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මට දැන අඳුර ගන්න හරි ආසයි එහෙම මනුස්සයෙක්ව. මේ මම කියන හිතේ අවුලට හේතු වෙන්නේ වෙන මොන මගුලක් වත් නෙවේ. අපිට තීරණ ගන්න තියෙන නිදහස. “Anxiety is one of the ways we experience freedom…” අපිට ඕනෙම තීරණයක් ගන්න හරි නිදහසක් නේ තියෙන්නේ, එහෙම උනාම අපි ගන්න තීරණය හා බැඳුණු ප්‍රතිවිපාක වලටත් අපිට වග කියන්න වෙනවා. මේක තමා අර anxiety එකට හේතුව.

සුපිරි උදාහරණයක් දෙන්නම්. මෙහෙම හිතන්නකෝ. අම්මා කියනවා කිරිපිටි පැකට් එකක් අරන් එන්න කියලා. ඔයා කඩේට ගියාම කල්පනා කරනවා, අප්පච්චියේ අපේ අම්මා මට ගේන්න කියලා බ්‍රෑන්ඩ් එකක් කිව්වේ නෑනේ. දැන් මොන බ්‍රෑන්ඩ් එකද මම තෝරාගන්න ඕනේ, ලංකාවේ හදන වස විස නැති කිරිපිටි ජාතියක් ගන්නවද නැත්නම් සුද්දන්ගේ රටින් එන එකක් ගන්නවද කියලා ඔයාට තීරණයක් ගන්න වෙනවා. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා හිතේ. සුද්දන්ගේ එකක් අරන් ගිහින් අම්මගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. අම්මා කෙලින්ම කියනවා අරන් එන්න කියලා ලංකාවේ හදන වස විස නැති කිරිපිටි පැකට් එකක්. දැන් තියෙනවද අරම හිතේ කැකෑරෙන ප්‍රශ්නයක්. නෑ නේ. හේතුව අම්මා ඔයා වෙනුවෙන් තීරණය අරන් ඉවරයි. ඒකෙ බරපතල කමත්, එකේ ප්‍රතිවිපාකත් අම්මම විඳින්න තීරණය කරලා ඉවරයි. දැන් ඔයාට බයවෙන්න දෙයක් නෑ. කඩේට ගියා ගත්තා, ඉවරයි. අන්න ඒවගේ තමයි අපේ ඇත්ත ජීවිතේ ගන්න තීරණත්.

මේ මනුස්ස ජීවිතේ, මේ පසු තැවිල්ලටයි, anxiety එකටයි බෙහෙතක් නෑ. කරන්න දේවල් දෙකයි තියෙන්නේ. එක්කෝ ජීවිතේ ඔහොම තමයි කියලා හිත හදාගෙන ජීවිතයට අරුතක් දෙන විදිහට ජීවත් වෙන එක. කීකගාර්ඩ් කියන විදිහට, “We must live forward and understand backwards…” ඒ කියන්නේ, ජීවිතේ ජීවත් වෙලයි තේරුම් ගන්න ඕනේ. නැතුව ජීවත් වෙන්න කලින් මේක තේරුම් ගන්න බෑ. ඇත්තටම මේ ජීවිතේ හරියට සිලබස් එකක් නැති කෝර්ස් එකක් වගේ. හිටපු ගමන් සුපිරි එසයින්මන්ට්, ගෘප් ප්‍රොජෙක්ට්, ප්‍රසන්ටේෂන් එහෙම දෙනවා. වෙලාවකට ඇඬේන්නම mid exam එකත් දෙනවා. ෆස්ට් ෂයි එකේ බැරි උනොත් සෙකන්ඩ් එකේ හරි ගොඩ යන්න පුළුවන්. කවුරුවත් ෆේල් වෙන්නේ නෑ. රිපීට් වෙනවා විතරයි. හරිම ආන්ජමිකයි මේ ජීවිතේ. මෙහෙම ජීවිතේට අරුතක් දෙමින් ජීවත් උනත් මේ කිසිම දෙයක අභ්‍යන්තර වටිනාකමක් නෑ කියලා තේරුම් අරන් ඉන්න එකට තමා කියන්නේ සුපිරි ඉංග්‍රීසි වචනයක්, ඒක තමා Existential Nihilism කියලා. මේක ගැන ලාවට විස්තරයක් මගේ කලින් ලිපියේ තිබ්බා. ඒක කියෙව්වේ නැත්නම් ඒකත් කියවල බලන්න පොඩි තේරුමක් ගන්න.

හරි දැන් මෙහෙම හිතන්නකෝ, ඔයාට හිතෙන්න පුළුවන්, මේ අපි ජීවිතේ අරුතක් හොයනවා කියලා කරන්නෙත් පිස්සුවක් නේ, අම්මා තාත්තා දීපු හෙවත් බලෙන් පටවපු හීන ගොඩක් පස්සෙනේ දුවන්නේ. සිස්සත්වේ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න, ඕලෙවෙල් ඒ අකුරු නමයක් ගන්න. ඒකෙන් තවත් ලොකු ඉස්කෝලෙකට යන්න. ඊට පස්සේ ඒලෙවෙල් එකට මැත්ස් බයෝ කරන්න. දොස්තර ඉංජිනේරුවෙක් වෙන්න, රටේ රෑන්ක් එකක් දාන්න පුළුවන් වෙන්න ඒ අකුරු තුනක් ලොකු ඉසෙඩ් එකක් එක්ක දාන්න කියලා සුපිරි හීන ටිකක් අපි කා ගාවත් තිබ්බනේ. දැන් කට්ටිය මෙහෙම කියනවා ඇති. (මෙතැන් සිට සලකනු ලබන්නේ ඉහත සඳහන් කරන ලද සියලුම හීන බිඳ වැටුණු බවයි.) අය්යෝ සිස්සත්වේ පාස් උනේ නෑනේ. එක්කෝ සිස්සත්ත්වේ පාස් උනා ඒත් අහවල් ඉස්කෝලෙට යාගන්න පුළුවන් වෙන්න ලකුණු ගන්න බැරි උනානේ. අයියෝ ලකුණු තුනයිනේ මදි උනේ. අපරාදේනේ පුතේ, තව චුට්ටක් මහන්සි උනානම් යන්න තිබ්බනේ අහවල් ඉස්කෝලෙට. ඔන්න ඔහොම කියනවා පොඩි එකාට.

ඊට පස්සේ ඒ පොඩි එකා එනවා ඕලෙවෙල් වලට. ඒකෙන් කොල්ලා ෆේල් නෑ. ඒත් කට්ටිය කියනවා, අයියෝ පුතේ, තව චුට්ටක් මහන්සි උනානම් ඒ නමයක්ම ගන්න තිබ්බනේ. ඇයි පුතේ ඔයාට බැරි නෑනේ. ඔයාට උවමනාවක් තිබ්බේ නැති එකනේ උනේ, කියල. දැන් ඒ මනුස්සයා එනවා ඒලෙවෙල් කරන්න. ඒකෙත් ඒ තුනක් ගන්න බැරිවෙනවා. අයිලන්ඩ් රෑන්ක් ගැන කතා කරන්න ඕනෙම නෑ. කට්ටිය සුපිරි කතා කියන්නේ. අර බලපන්, උඹත් එක්ක එකට ඉඳපු උන් අහවල් විශ්වවිද්‍යාලෙට යන්නේ. අර අහවලාගේ පුතා අහවල් විශ්වවිද්‍යාලෙට යන්නේ. මිනිහා දක්ෂයා. අපරාදනේ, ඔය කොල්ලෝ එක්ක රස්තියාදු ගහ ගහ ඉඳපු වෙලාවේ, ෆිල්ම්, ටීවී සීරිස් බල බල කාලේ කාපු වෙලාවේ පාඩමක් කලානම් නිකන්ම අහවල් විශ්වවිද්‍යාලෙට යන්න තිබ්බනේ. එහෙනම් අහවල් ඩිග්‍රී එකක්නේ කරන්නේ, කියලා ඒගොල්ලෝ කියනවා.

ඊට පස්සේ කට්ටිය තව මෙහෙමත් කියනවා, උඹ සිස්සත්වේ ෆේල් නම් උඹ අසාර්ථකයි. උඹට අහවල් ඉස්කෝලෙට යන්න බැරි උනානම් උඹ අසාර්ථකයි, කියලා. තව කියනවා උඹ ඒ නමයයි, ඒ තුනයි ගත්තේ නැත්නම් උඹ අසාර්ථකයි කියලා. අසාර්ථකත්වයේ නියම අර්ථය නොදැන තමයි කට්ටිය මෙහෙම කියන්නේ. මම කියලා දෙන්නම් අසාර්ථකත්වයේ නියම අර්ථය. ඒක තමයි,

“තමුන්ට යම් දෙයක් කරන්න හැකියාව සහ ශක්‍යතාවය තිබියදීත්, එම කටයුත්ත සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා තිබියදීත්, එම දෙය කිරීමට අවම වශයෙන් උත්සාහ වත් නොකිරීම…”

මාළුවෙකුට ගස් නගින්න බෑ කියලා ඌ අසාර්ථක නෑනේ. අලියට පීනන්න බෑ කියලා ඌ අසාර්ථක නෑනේ. අඹ ගහේ පොල් ගෙඩි හැදෙන්නේ නෑ කියලා අඹ ගහ අසාර්ථක නෑනේ. අන්න ඒ වගේ තමයි. අපි අපේ වපසරියට ගැලපෙන්න තමයි අපේ හීන සහ බලාපොරොත්තු තියන් ඉන්න ඕනේ. හඳට යන්න ට්‍රයි කලොත් අහසේ තරු අතරේ වත් නතර වෙන්න පුළුවන් කියලා කිව්වට, පොල්ගහක මුදුනක වත් රැඳෙන්න බැරි විත්තිය තේරුම් ගන්න කාලයත් එක්ක මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ.

ඇත්තටම කිව්වොත් සමහර විට ඔයාට මෙහෙම හිතෙන්නත් පුළුවන්. හැමෝම කියන්නේ, සල්ලි, සල්ලි, සල්ලි. ලොකු රස්සාවක්, ලක්ස ගානක පඩියක්, ලොකු ගෙයක්, ලොකු කාර් එකක්. ලොකු ලස්සන වෙඩින් එකක්. ඔන්න ඕවා තමයි වටිනවා කියලා කියන්නේ. ඒත් වාසනාවකට වගේ ඔයාට හිතෙන්න පුළුවන් මේ කිසිම දෙයක අභ්‍යන්තර වටිනා කමක් නැනේ, මැරෙද්දි මේ එක රෙද්දක්වත් අරන් යන්නේ නෑනේ කියලා. මේවා තිබ්බයි කියලා මිනිස්සු සතුටින් නෙවේනේ ඉන්නේ කියලා. (අර මම උඩින් සඳහන් කරපු හේතු නිසා මිනිස්සු කිසිම විටක සතුටින් සිටින්නේ නැත. ඔවුන් නිතරම පසු තැවිල්ලෙන් කාලය ගතකරයි කියල උපකල්පනය කලොත්.) එතකොට ඔයාට තේරෙනවා මේ කිසි දෙයක අර්ථයක් නෑනේ අර්ථයක් හොයන් යන එකෙත් වැඩක් නෑනේ කියලා. අන්න ඒ දර්ශනයට තමයි කියන්නේ ලස්සන ඉංග්‍රීසි වචනයක්. ඒ තමයි, Cosmic Nihilism එහෙම නැත්නම් Cosmic Pessimism කියන්නේ. අර බාගෙට පිරිච්චි වතුර වීදුරුවේ සීන් එක මේකට සුපිරි උදාහරණයක්. Optimist කියනවා, ඒක බාගෙට පිරිලා කියලා, Pessimist කියනවා ඒක බාගෙට හිස් කියලා. Cosmic Nihilist කියනවා, “Who gives a  shit?”

“Nobody exists on purpose, nobody belongs anywhere, everybody’s gonna die…”

කියලා. වැරද්දක් නෑනේ. Cosmic Nihilism එකේ අර්ථ දක්වනවා මෙන්න මේ විදිහට. මේ විශ්වයේ සෙවිය යුතු තරම් වටිනා දෙයක් නැත, ඒ වගේම, නිදහස, ආදරය, බලාපොරොත්තු, හා සතුට කියන දේවල් ඔක්කොම මිනිස්සු විසින් නිකන් ඉන්න බැරිවට ගොඩ නගා ගත්ත දේවල් මිසක් ඇත්ත අභ්‍යන්තරික වටිනාකමක් තියෙන දේවල් නෙවේ කියලා. මේ ඔක්කොම දේවල් මිනිස්සු තමන්ගේ ඇතුලාන්තයේ පවතින හිස්බව වහ ගන්නට, යථාර්තයෙන් සැඟවී, බොරු වෙස්මුහුණක් දාන් ඉන්න තමයි මේ ඔක්කොම දේවල් ගොඩනගාගෙන තියෙන්නේ. සුපිරි කතාවක් වෙන Rick and Morty එකේ මෙහෙම කියනවා, “What people call love is just a chemical reaction that compels animals to breed…” කියලා. මගේ මේ කතාවේ සමහර වදන් අරන් තියෙන්නේ මේ Rick and Morty එකෙන්ම තමයි. අර වාක්‍යයේ කියන්න තරම් වැරද්දක් මටනම් පෙන්නේ නෑ. වැරද්දක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැන කතා කරමු.

හරි එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය Existential Nihilism එකෙත් Cosmic Nihilism එකෙත් දෙකේම කියන්නේ නෑ ජීවිතේ අත ඇරලා දන්නා කියලා. ජීවිතේ පවතින අවිනිශ්චිතතාව පිළිබඳව නියම අර්ථකතනයක් දෙන්න උත්සහ කරලා තියෙනවා මේ දර්ශන දෙක තුලම. අවසාන, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි, තමුන්ගේ ජීවිතේ ගන්න තීරණ වලට බය වෙන්න එපා. හරි තීරණ ගන්න හරි වෙලාවට. කාටවත් ඔයාට, තමුන් failure එකක් කියලා කියන්න ඉඩ තියන්න එපා. උත්සාහ කරන්න. බැරි උනාට කමක් නෑ. මම හැමදාම කියනවා වගේ, රිස්ක් එකක් ගන්න බය වෙන්න එපා. අලුත් දෙයක් කරන්න, කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න එපා. “Keep moving forward…” කියලා තමයි ඉතිං මට කියන්න තියෙන්නේ. අවසාන, අවසාන, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ කතාව හොඳයි නම් අනිත් අයටත් පෙන්න ෂෙයාර් කරන්න. ඕනේ නම් බ්ලොග් එකට subscribe වෙන්න දකුණු පැත්තේ තියෙන ලින්ක් එකෙන්. තව ඕනේ නම් නිකන් ඇඩ් එකක් දාගන්න, ඔය දකුණු පැත්තේ ඉඩට හරියන්න පොඩි පින්තුරයයි, ලින්ක් එකයි එවන්න. නිකන්ම ඇඩ් එකක් දාගන්න. ලෝකෙටම පෙන්නන්න. හරි එහෙනම් මම ගියා. ආයේ එහෙනම් මෙහෙම විකාර පොස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird…

Niweera

When I'm not dreaming, I build websites. See me on https://niweera.gq or https://github.com/Niweera

4 thoughts on “කසාද බැඳපු එකාත් දුකින්, බැඳපු නැති එකාත් දුකින්…?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.