මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමද?

බොහෝම කාලෙකට පස්සේ තමා මේ මොනාහරි ලියන්න වෙලාවක් සෙට් උනේ. ගෙදරට වෙලා හිටියා කියලා නිකන් ඉන්නත් බෑනේ. මොනාහරි කරන්නත් ඕනෙනේ. ඉතිං මේ බොහෝ වැඩ අස්සේ මොනාහරි විකාරයක් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුනා. වෙනදා වගේ වැල් බයිලා වට වන්දනා යන්නේ නැතුව කෙලින්ම කතාවට බහින්නම්කො (වෙනසකටත් එක්ක).

ඔයා නිතරම අහලා ඇති මෙහෙම කතාවක්, “තමන් වෙනුවෙන් ජීවත් වෙන්න එපා. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න”. මීට කලින් අහලා නැත්නම් ගූගල් කරලා බලන්න ?.  අපිට පොඩි කාලේ ඉඳලා කියල දෙනවා හැමතිස්සෙම අනිත් අය ගැන හිතන්න, තමන් ගැන හිතන්න එපා, ආත්මාර්ථකාමී වෙන්න එපා හැමතිස්සෙම පරාර්ථකාමී වෙන්න කියලා. තවත් කියලා දෙනවා ආත්මාර්ථකාමී මිනිස්සු නරකයි, පරාර්ථකාමී මිනිස්සු හරිම හොඳයි, බ්ලා, බ්ලා, බ්ලා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවේ තියෙන්නේ මේක. අර ත්‍රිවිල් පිටිපස්සේ ලියලත් තියෙන්නේ “අපි බොක්කෙන් – අපිට බෙලෙක්කෙන්!” කියලා. බොරු කියන්න ඕනේ නෑ ත්‍රිවිල් පිටිපස්සේ  තියෙනවා හොඳ හොඳ වදන්. හරි ඒවායින් වැඩක් නෑ. ඔයාට තේරිලා ඇති (මේ වෙනකොට) අපි කොච්චර හොඳ කලත් අපිටමනෙ මේ කෙලවෙන්නේ කියලා. මම මෙහෙම කිව්වොත්, ඔයා පරාර්ථකාමී නිසා නෙවේ ඔයාට කෙලවෙන්නේ, ඔයා ආත්මාර්ථකාමී මදි හින්දයි ඔයාට කෙලවෙන්නේ කියලා, ඔයා මොකද කියන්නේ? පුදුම වෙන්න දෙයක් නෑ. මේක මගේ කතාවක් නෙවේ. අවුරුදු ගානක් පරණ විවාදයක්. මේක ඇත්තටම කිව්වොත් දාර්ශනික ප්‍රශ්නයක්.

ඔන්න දැන් අපි ආවා හරිම තැනට. මම මේ කියන්න යන්නේ අමුතුම විදිහේ දර්ශනයක් ගැන. අපි හැමෝටම දර්ශනයක් තියෙනවනේ. එත් ගොඩක් අය හරියට දන්නේ නෑ මොකක්ද මේ දර්ශනය (Philosophy) කියන්නේ කියලා. තේරෙන සිංහලෙන් කිව්වොත් දර්ශනය කියන්නේ ජීවිතය, යථාර්තය, සත්‍ය, සදාචාරය, හා දැනුම හොයාගෙන යන අධ්‍යයනයක්. තේරුනේ නෑ නේද? මටත් හරියට තේරුනේ නෑ. මට තේරෙන විදිහට කිව්වොත් දර්ශනය කියන්නේ ආගමේ විරුද්ධ පදය (Anti-Thesis). ආගමේ කතා කරන්නේ නැති ගොඩක් දේවල් දර්ශනයේ කතා වෙනවා. ආගමෙන් තහනම් කරලා තියෙන දේවල් දර්ශනයෙන් කරලා බලනවා. දැන් ලාවට හරි තේරුමක් ආවා නේද? වාසනාවන්. දර්ශනය ගැන කතා කරද්දී එක විස්තර කරන්න පුළුවන් කොටස් හයක් තියෙනවා. පාරභෞතිකවාදය (Metaphysics), ඥානවිභාගය (Epistemology), තර්කනය (Logic), ආචාර ධර්ම (Ethics), සෞන්දර්යය (Aesthetics), සහ දේශපාලනය (Politics). මේ සමහර වචන ඇහුවම ෆුල් හොල්මන් වෙනවා නේද? කරන්න දෙයක් නෑ ඉතිං.  ලෝකේ හැටි තමා ඒ. මේ හැම වචනයක්ම තේරුම් කරලා දෙන්නම් හෙමින් සීරුවේ උදාහරණත් එක්කම.

මම මේ මුලදී කියනවනේ, අපි ආත්මාර්ථකාමී මදි කියලා. ඕක මම කියන කතාවක් නෙවේ කියලත් කිව්වනේ. ඕක මුලින්ම කිව්වේ අයින් රෑන්ඩ් (1905-1982) කියන දාර්ශනිකයා විසින්. මේ අයින් රෑන්ඩ් විසින් ඉදිරිපත් කරපු වාස්තවීකරණවාදය (Objectivism) කියන දාර්ශනික පද්ධතියෙන් තමා මේ ආත්මාර්ථකාමී බවේ තියෙන වැදගත්කම විස්තර වෙන්නේ. අර වචනේ ඇහුවමත් බය හිතෙනවනෙ. ඉන්න හෙමින් සීරුවේ මම කියලා දෙන්නම් මේ ඔබ්ජෙක්ටිවිසම්  කියන දර්ශනය ගැන. ඔබ්ජෙක්ටිවිසම් තුල තියෙන මූලිකම දේ තමා සත්‍යය කියන එක මේ විශ්වයේ හැම තැනම තියෙනවා ඒක මිනිසාගෙන් ස්වායත්තයි කියන එක. ඒ කියන්නේ ඔයාටයි මටයි දෙන්නටම සත්‍ය කියන එක පොදුයි. ඔයා මෙහෙම කතාවක් අහල ඇති.

Facts don’t care about your feelings…

මෙහෙම කිව්වේ ඇමෙරිකානු දක්ෂිණාංශික දේශපාලනික විචාරකයෙකු වෙන බෙන් ශපිරෝ විසින්. මෙහෙම කියන කතාවේ තේරුමක් තියෙනවා ඔබ්ජෙක්ටිවිසම් දර්ශනයට අනුව. ඔබ්ජෙක්ටිව් සත්‍යයකට හොඳ උදාහරණයක් තමා දෙකයි දෙකයි එකතු කලාම හතරයි කියන එක. ඒක ඔයාටත් හතරයි. මටත් හතරයි. රටේ ජනාධිපතිටත් හතරයි.  මම දැන් මේ හෙමින් හෙමින් එන්න හදන්නේ අර කලින් කියපු මෙටාෆිසික්ස් ගැන. මම කියලා දෙන්නම් මේ ඔබ්ජෙක්ටිවිසම් කියන දර්ශනයේ හරය කෑලි කෑලි වලට කඩලා. එතකොට දැන් කම්මැලි හිතුනත් පස්සේ හරි ආපහු ඇවිත් කියවලා බලලා තේරුම් ගන්න පුළුවන්නේ ?.

1. Metaphysics

මෙටාෆිසික්ස් කියන්නේ යතාර්ථය, පැවැත්ම හා ලෝක ස්වභාවය ගැන අධ්‍යයනය කරන එක. හරිම ශෝක් නේ. වෙන වැඩ නැත්නම් හොඳයි කියලා හිතෙනවද. ඇත්තටම අපි සයන්ස් ඉගෙන ගන්නවා කියලා කරන්නේ මේ මෙටාෆිසික්ස් ගැන ඉගෙන ගන්න එක.  එතකොට මේ ඔබ්ජෙක්ටිවිසම් එකට අනුව ඒකෙ මෙටාෆිසික්ස් එකට අයිති වෙන්නේ අර මම කලින් කියපු කතාව. සත්‍යය හා යථාර්තය අපි තුල නෙවේ තියෙන්නේ අපෙන් පිටතයි කියන එක. මමත් ලාවට එකඟ වෙනවා මේ කතාවත් එක්ක. මොකද සත්‍යය ඔයාට හෝ මට වෙන් වෙන් වශයෙන් නම් තියෙන්නේ ඒක පරම සත්‍යය වෙන්න විදිහක් නෑනේ. ඒත් පරම සත්‍යය කියලා දෙයක් ලෝකේ පවතින්න ඕනේ. හරියට තේරෙන්න කිව්වොත් a theory of everything. තව දෙයක් තියෙනවා මේ ඔබ්ජෙක්ටිවිසම් එකේ මෙටාෆිසික්ස් වල. ඒ තමයි සර්වබලධාරී දෙවි කෙනෙක් නෑ කියන එක. ඒ කියන්නේ මිනිසාව පාලනය කරන්නේ මිනිසාගේ ස්වයං චින්තනය (Free Will) මතින් පමණයි කියන එක. ඒ කියන්නේ අපිට “අනේ ඒක ඉතිං දෙය්යන්ගේ කැමැත්තනේ” (එහෙමත් නැත්නම් “අය්යෝ කරුමේ තමා”) කියලා ශේප් වෙන්න විදිහක් නෑ. මතක තියාගන්න ඕනේ ලොකු දෙයක් තියෙනවා, ඒක තමා, කොච්චර පොඩියි කියලා හිතුනත් අපි ගන්න තීරණ වල විශාල ගැඹුරක් තියෙනවා කියන එක.

2. Epistemology

එපිස්ටේමොලොජි කියන්නේ වෙනම සීන් එකක්. ඒකෙන් කතා කරන්නේ දැනුම ගැන. දැන් බලන්න අපි හැමදේම දන්නවනේ ?. දර්ශනයේදී කියන දෙයක් තම අපි මෙලෝ දෙයක් දන්නේ නෑ කියන එක. අපි ඉස්කෝලෙදි ඉගෙන ගන්නවා, ඊට පස්සේ කැම්පස් ඇවිත් ඉගෙන ගන්නවා, සමහරු පීඑච්ඩී කරන්න යනවා, සමහරු රස්සාවල් කරන්න යනවා. එත් අපි ඒ ඒ තැන් වලදී ඉගෙන ගන්නවා කියලා කරේ දැනුම එකතු කරන එකද නැත්නම් වෙන මොකක් හරිද? අන්න ඒකත් දාර්ශනික ප්‍රශ්නයක්. මේක Education vs. Knowledge කියන ගැටලුව. මේක ගැන කතා කරන්න ගියොත් මේ කතාව ඉවරයක් වෙන එකක් නෑ. ඒක හින්දා ඒක අපි පස්සට දාමු. අපි මේ එපිස්ටේමොලොජි එකෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුම කියන්නේ මොකක්ද, දැනුම අපි ලබා ගන්නේ කොහොමද, සහ ඇත්තටම දැනුම කියල දෙයක් තියෙනවද කියලා අධ්‍යයනය කරන එක. එතකොට මේ ඔබ්ජෙක්ටිවිසම් එකට අනුව, මිනිසා විසින් ලබා ගන්නා ලද සියලුම දැනුම ලබාගෙන තියෙන්නේ තර්ක කිරීම (Reason) තුලින්. අපි ඇසෙන් දකිනවා, කනෙන් අහනවා, දිවෙන් රස බලනවා, සමෙන් ස්පර්ශ කරලා බලනවා. මේ හැම දෙයක්ම ඓන්ද්‍රිය විභාවනය හෙවත් (Sensory Perception) කියන එක. ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි ඇසෙන් දකින දේ ඇත්තද, කනෙන් අහන දේ ඇත්තද කියන එක. ඔබ්ජෙක්ටිවිසම් එකට අනුව, අපිට දැනෙන දේවල් අපි තර්ක කරලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට හිතලා බලලා තේරුම් ගන්න ඕනේ. ඔයා හොඳ ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක් නම්, කිතුල් ගහ යට ඉඳන් උනත් මනුස්සයෙක්ට කිරි බොන්න පුළුවන් කියන එක විස්වාස කරන්න ඕනේ. මම ඔලුව කොලොප්පන් වෙන දෙයක් කියන්නද. අපි හැදිලා ඉන්නේ පරමාණු වලින් නේ. දැන් මේසයක් මතක් කරගන්නකෝ. ඒ මේසේ හැදිලා තියෙන්නේ ලී වලින්නේ. මේ ලී උනත් හැදිලා තියෙන්නේ පරමාණු වලින්. දැන් පොඩි සයන්ස් කතාවක් කියන්නම්. පරමාණු සහ පරමාණු ඇතිල්ලෙන්නේ නෑ.  ඇතිල්ලෙන්නේ නෑ කියන්නේ ඇතිල්ලෙන්න විදිහක් නෑ මොකද පරමාණු කියන්නේ අපි දකින බෝල වගේ දෙයක් නෙවෙන හින්දා. එහෙනම් මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා, අපි අපේ අතින් මේසේ මතුපිට අතගාන්න පුළුවන්නේ. අපිට මේසේ මතුපිට හරිම සිනිදුයි කියලා දැනෙනවා. එක්කෝ ඒක හරිම රළුයි කියලා දැනෙනවා. ඒත් පරමාණු පරමාණු එකිනෙක ඇතිල්ලෙන්නේ නෑ. එහෙනම් මේ දැනෙන දේ අපිට දැනෙන්නේ කොහොමද? එහෙනම් මේ දැනෙන දේ ඇත්තද? නැත්නම් මේ දැනෙන දේ මායාවක් ද? ඔයාම හිතලා බලන්න. 

3. Logic

මේක නම් ඉතින් බොහොම සරල දෙයක්නේ. ලොජික් කියන්නේ මැජික් එකේ අනිත් පැත්ත. ලොජික් හෙවත් තර්කනය තමා මිනිසා අනෙක් සතුන්ගෙන් වෙන් කරලා තියන්නේ. අපි යමක් කරන්න කලින් හිතින් හිතලා බලනවා ඒක හොඳයි ද නැත්නම් නරක ද කියලා. අපි තීරණයක් ගන්න කලින් ඒකෙ Pros and Cons ගැන හිතලා බලනවා. මේ ඔක්කොම කරන්නේ ලොජික් පාවිච්චි කරලා. එතකොට මේ ඔබ්ජෙක්ටිවිසම් තුල Logic  සහ Reasoning වලට ලොකු තැනක් දීලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඔබ්ජෙක්ටිවිසම් වලට අනුව, අපිට දැනෙන දේ අපි දැනුම බවට පත් කරගන්නේ තර්කනය තුලින්. මේසේ අතගෑවම අපිට දැනෙන්නේ අතටද නැත්නම් හිතටද කියලා ඔයාම හිතලා බලන්න.

4. Ethics

මෙන්න හොඳම කොටස. එතික්ස් හෙවත් සදාචාරය කියන්නේ මිනිසාව පාලනය කරන දෙයක්. අපි ගන්න තීරණ බොහොමයක් අපි ගන්නේ සදාචාරයට අනුකුලව. අපි අර කියන්නේ සංස්කෘතිකයි, සදාචාරාත්මකයි, සහ පක්ෂයි කියලා. අන්න ඒක තමා. මේ එතික්ස් තමා හොඳ-නරක සහ හරි-වැරැද්ද තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේකෙදි තමා මගේ මුල්ම කතාව අදාල වෙන්නේ. අපි ආත්මාර්ථකාමී වෙන එක සදාචාරාත්මකද කියන ප්‍රශ්නේ හැමෝගෙම හිතේ මතුවෙන්න ඇති මගේ කතාව කියවන් එද්දී. පොතේ හැටියට ආත්මාර්ථකාමී කියන එක නරක දෙයක් කියලා තමා අපි දන්නේ. ඒත් අපෙන් ලොකු ඇත්තක් හංගලා තියෙනවා මේ පොතේ. ඒ තමා ඇත්තම ආත්මාර්ථකාමීත්වය මේ අපි හිතන් ඉන්න එක නෙවේ කියන එක. ආත්මාර්ථකාමී කිව්ව ගමන් අපේ  හිතට එන්නේ තණ්හාවෙන් පිරිච්ච උඩඟු මනුස්සයෙක්ව. ඒත් මේ අපේ හිතේ ඇඳෙන චිත්‍රය සම්පුර්ණයෙන්ම වැරදි චිත්‍රයක්. හරිම චිත්‍රය මම කියන්නම්. ඔබ්ජෙක්ටිවිසම් වලට අනුව ආත්මාර්ථකාමී කෙනෙක් කියන්නේ, 

  1. තර්කය හඹායන, ඇදහිල්ල සහ විස්වාසයන් බැහැර කරන කෙනෙක්.
  2. මහන්සි වී වැඩ කරන, ජිවිතය ඵලදායී ලෙස ගත කරන කෙනෙක්.
  3. තමාගේ වටිනාකම තේරුම් අරගත්ත සහ තමාගේ වටිනාකම දියුණු කරගන්න කෙනෙක්.
  4. තමාගේ සතුට සොයාගෙන යෑම ජීවිතේ ලොකුම ඉලක්කය ලෙස සිතා වැඩ කරන කෙනෙක්.
  5. අනෙක් පුද්ගලයින් සමග කටයුතු කරන විට ඔවුන්ගේ වටිනාකම වටහාගෙන කටයුතු කරන කෙනෙක්.

මේ කතා ටික දැක්කම පේනවනේ ආත්මාර්ථකාමී කෙනෙක් කියන කෙනා ගොඩක් නරක කෙනෙක් නෙවේ කියලා. ඇත්තටම බැලුවොත් මේ ලෝකේ හැමෝම මේ විදිහට ආත්මාර්ථකාමී වුනොත් ලෝකෙම ගොඩ යනෝ කියන එක තමා මේ දර්ශනයෙන් කියන්නේ. ඒක හරිද වැරදිද කියලා හිතලා බලන එක ඔයාගේ වැඩක්. නිකන් ඉන්න වෙලාවක හිතලා බලන්න. අර ඇඳේ පෙරලි පෙරලි ඉන්නේ අරයා මෙයා ගැන හිත හිත, අන්න ඒ වෙලාවක හිතලා බලන්න මේ සීන් එක ගැන.

5. Aesthetics

මේ ඊස්තෙටික්ස් කියන එක ඔයා අනිවාර්යෙන්ම අහලා ඇති. අර අපි සාමාන්‍ය පෙලට / උසස් පෙලට කරන්නේ කලාව කියලා. අන්න එකම තමා. දර්ශනයේදී කරන්නේ අපි කලාව කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා අධ්‍යයනය කරන එක. යමක් කලාවක් වෙන්නේ කොහොමද එහෙමත් නැත්නම් විකාරයක් වෙන්නේ කොහොමද කියලා තෝරන එක තමා  දර්ශනයේ කාර්යභාරය. දැන් නම් ඉතින් අපිට පේන කලාවන්, විකලාවන් කියලා හිතෙනවත් ඇති. බොරු කියන්න ඕනේ නෑ එහෙම හිතෙන එකත් හොඳ මනසක් තියෙන එකේ ලක්ෂණයක් (මෙහිදී බටහිර කලාව තමා සුපිරි, අපේ එව්වා විකාර කියන අදහස අපිට බැහැර කරන්න වෙනවා මොකද ඒක කිසිම තර්කනයකින් ඔප්පු කරන්න බැරි හින්දා). ඔබ්ජෙක්ටිවිසම්  එකට අනුව කලාව කියන්නේ යථාර්තය ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ කියන්නේ කලා කරුවාගේ මනසේ යථාර්තය ගැන තියෙන ප්‍රතිරූපය අපිට පෙන්වා දීමක්. දැන් පේනවනේ බටහිර කලාවයි අපේ කලාවයි සංසන්දනය කරලා බලන්න බැරි ඇයි කියලා. බටහිර මිනිස්සු හිතන විදිහ වෙනස්. අපි හිතන විදිහ වෙනස්. ඉතින් සංසන්දනය කරන එකේ තේරුමක් නෑ. බොරුනම් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

6. Politics

මෙන්න මම ආසම මාතෘකාව. දේශපාලනය කියන්නේ ගොඩක් අය ආස නැති මාතෘකාවක් නේ. අපි මොනා කිව්වත් ඇරිස්ටෝටල් කියලා තියෙනවා මිනිසා කියන්නේ දේශපාලනික සත්වයෙක් කියලා. දර්ශනයේ දේශපාලනයට විශාල තැනක් දීල තියෙනවා මොකද දේශපාලකයන්ට කිසිම දර්ශනයක් නැති හින්දා ?.  දර්ශනයේ දී දේශපාලනය කියලා අදහස් කෙරෙන්නේ රජය, රජයේ පැවැත්ම, රජයේ කාර්යභාරය, නිතිය හා යුක්තියේ ස්වභාවය. මේවා ඉතින් අපිත් දැනගත්තට, ඒවා ගැන කතා කලාට පාඩුවක් වෙන්නේ නෑ. අවුල තියෙන්නේ අපි කතා කරන්නේ දේශපාලනය කියලා පක්ෂ දෙක තුනක් ගැන සහ ඒවල ඉන්න පාක්ෂිකයෝ ගැන ?‍♂️. කොහොමෙන් කොහොම හරි, මේ ඔබ්ජෙක්ටිවිසම් කියන දර්ශනය තුල පිළිගන්න එකම දේශපාලන දර්ශනය තමා ධනවාදය (Capitalism). අම්මෝ ධනවාදය හෙන බයානකයි නේද. ඇහුවත් බය හිතෙනෝ නේද? ඇත්තටම ධනවාදය තමා මේ තාක් දුරට බිඳ වැටුනේ නැති එකම දේශපාලන දර්ශනය. ලෝකේ තිබ්බ ලොකුම සමාජවාදී රජය වෙච්ච සෝවියෙට් රුසියානු සමුහාණ්ඩුවත් 1991දී බිඳ වැටුනයින් පස්සේ දැන් තියෙන රුසියාවත් ධනවාදී රටක් (මං දන්න තරමින්). ඉතින් මේ ධනවාදය ඇයි  මේ නරක දෙයක් කියලා කියන්නේ හැමෝම. අන්න එතැනදී ඕනේ වෙනවා අර මම ආත්මාර්ථකාමිත්වය ගැන කියපු දේ. අපිට පෙන්නලා තියෙන දේ තමා අපි දකින්නේ. ඔයා බඩු ගන්නේ සුපර් මාර්කට් එකකින් නම්, ඒකෙ තියෙන චොකලට් බිස්කට් ජාති වලින් එකක් තෝරාගන්න බැරුව කල්පනා කරනවා නම් ඒ තමා ධනවාදය ?. එච්චර සරලයි. ධනවාදය කියන එක විස්තර කෙරෙන්නේ, පුද්ගලික නිදහස මත ගොඩනැගුනු ආර්ථික පද්ධතියක් විදිහට. අපිට කැමති භාණ්ඩයක් විකුණන්න සහ නිෂ්පාදනය කරන්න අපිට නිදහස තියෙනවා. රජය මැදිහත් වෙන්න එන්නේ නෑ. වෙළඳපොල තුල භාණ්ඩ හා සේවා මිල තීරණය කෙරෙන්නේ තරඟය තුලින්, නැතුව රජය විසින් නෙවේ. අනිත් එක අපේ වැටුප් තීරණය කරන්නෙත් රජය නෙවේ. අන්න එතැනදී තමා ගොඩක් අය මේ ධනවාදයට විරුද්ද වෙන්නේ. ලොකු ලොකු කම්පැනි මිනිස්සුන්ට හරියට පඩි ගෙවන්නේ නෑ කියන සීන් එක තමා හැමෝගෙම ප්‍රශ්නේ. ඒකට උත්තර දෙන්න මාත් හරියට දන්නේ නෑ. වෙන කතාවකදී ඒක ගැන කතා කරමු. ඔයා හිතලා බලන්න නිකන් ඉන්න වෙලාවක මේ ගැන.

ඕන් එහෙනම් මේ කතාව ඉවරයි. දිගත් වැඩිද මන්ද. හෙමින් සීරුවේ කියවන්  කියවන්  ආපු එකට මගේ බලවත් මෙව්වා එක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඔයාට ලාවට හරි දර්ශනය ගැන අයිඩියා එකක් ඇවිත් ඇති. ඇයි අපි දර්ශනය ඉගෙන ගන්න ඕනේ කියන එකට දෙන්න තියෙන උත්තරේ තමා, අපි හැමතැනම දකිනවා (විශේෂයෙන් බුකියේ) හෙනම දාර්ශනික ටෝක්ස් දෙන මිනිස්සු. අන්න ඒ අය ඇත්තටම දර්ශනිකයෝද නැත්නම් පිස්සොද කියලා දැන ගන්න තමා මේ දර්ශනය අපි ඉගෙන ගන්න ඕනේ. අවසාන, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අයින් රෑන්ඩ් කියන කෙනා ලියපු ඇට්ලස් ශ්‍රග්ඩ් කියන පොතේ කියන කතාවක්. 

…තමුන්ගේ රටේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා හිතෙනවා නම්, රටේ පාලකයින් දිහා බලන්න…

මේ කතාව හරිද වැරදිද කියලා කියන්න දන්නේ නෑ. ඔයාම හිතලා බලන්න හරි වැරැද්ද. තව පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ. ඔයාට පේන්න ඇති මම මේ හැම තැනම ඔයාට තනියෙන් හිතලා  බලන්න කියලා ඇති. එහෙම කියන්නේ තනියෙම හිතලා බලන එකේ තියෙන වැදගත්කම ඉතාම විශාල හින්දා. අපි හිතන හින්දා තමා අපි ඉන්නේ. මම අර කලින් පොස්ට් එකක කිව්වා වගේ සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න උත්සාහ කරන්න. වරදින එකක් නෑ. ඉතින් මගේ කතාව කියවලා මොනවා හරි ජීවිතයට ගත්තා නම්, මේ කතාව හොඳයි, සැපයි කියලා හිතෙනවා නම් පොඩි ශෙයා පාරකුත් දාන්න. මන් කියන ඒවා එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්ටුවකුත් දාන්න. කලින් ලියපු මගේ කතා කියවල නැත්නම් ඒවත් කියවන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…

Niweera

When I'm not dreaming, I build websites. See me on https://niweera.gq or https://github.com/Niweera

2 thoughts on “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමද?

  • December 4, 2020 at 2:32 pm
    Permalink

    “මේසෙ අතගෑවම දැනෙන්නෙ අතටද හිතටද”
    මේසේ, අත අර්ථ දැක්විය හැකි නමුදු හිත අර්ථ දැක්විය හැකිද?
    සියල්ලෝම ආර්මාථකාමී වූ කලී ධනවාදය රජයයිද? දාර්ශනික යැයි කියා ගන්නා සමහරු ඇත්තටම දාර්ශනිකද ?

    Reply
    • December 4, 2020 at 2:34 pm
      Permalink

      අනේ මන්දා බං. ඕවා බොන්න ඕනේ ප්‍රශ්න. මටත් ඔව්වා තේරෙන්නේ නෑ. හරි වේදනයි. ?

      Reply

Leave a Reply to බල්ලා Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.